web analytics

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරතවන Gamer.LK, ශ්‍රී ලංකාව කලාපයේ ඉ-ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) සමග අත්වැල් බැඳ ගත්තේය. InGame Entertainment මවු සමාගමට අනුබද්ධිත සන්නාමයක්වන Gamer.LK, 2007 වසරේ සිට ඉ-ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටී. මෙම හවුල්කාරිත්වය යටතේ, ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ Gamer.LK සතු විශේෂඥ දැනුමත්, මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සංවිධාන කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව සතු විශේෂඥ දැනුමත් සුසංයෝගයක් ලෙස ක්‍රියා කරනු ඇත. 2020 ජනවාරි මාසයේදී පැවැත්වෙන InGame ඉ-ක්‍රීඩා දකුණු ආසියානු කුසලානය එලෙස සංවිධාන කෙරෙන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියවන අතර කලාපයේ විශිෂ්ටත ම CS:GO කණ්ඩායම් හයක් එහි තරග වැදීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

“මෙය හවුල්කාරිත්වයක් පමණක් නොවේ. මෙය පුළුල් දැක්මක් සහිත ක්‍රමෝපායික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. ඉ-ක්‍රීඩා යනු මේවන විටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගෙන ඇති ඉසව්වක් වන අතර 2018 වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී එම ඉසව්ව ප්‍රදර්ශන ඉසව්වක් ලෙස පැවැත්වුණා. එබැවින් එය 2020 දී ටෝකියෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී එක් තරග ඉසව්වක් ලෙස දැකගත හැකිවනු ඇති. කෙසේවෙතත්, 2022 දී චීනයේ හැංසෝහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙය පූර්ණ පදක්කම් ප්‍රදානය කෙරෙන ඉසව්වක් ලෙස සංවිධාන කෙරෙනවා. එබැවින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉ-ක්‍රීඩා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක අප වඩාත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව සඳහන් කළ හැකියි,” යනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමයේ ආරම්භක සභාපති මෙන්ම Gamer.LK ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය සමග ශ්‍රී ලංකාව ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමට හැකි වන බවයි. “ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිගාමී දැක්මකින් යුතුව කටයුතු කරමින්, නුදුරු අනාගතයේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ම වෙනසක් ඇති කරන ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඔසොවා තැබීම සඳහා නායකත්වය ලබා දීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.”

තරගාවලි සඳහා සහභාගීවන තරගකරුවන්ගේ සංඛ්‍යාව සහ නරඹන්නන්ගේ පැමිණීම පිළිබඳ සැලකීමේදී ඉ-ක්‍රීඩා ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ක්ෂේත්‍රය ලෙස මෑතකදී හඳුනා ගෙන ඇත. වීඩියෝ ක්‍රීඩාවල තරගකාරී ස්වරූපය ඉ-ක්‍රීඩා මගින් නිරූපණය කෙරෙන අතර එය වෘත්තීය ක්‍රීඩාවක් ලෙස ගෝලීය වශයෙන් ද, පසුගිය වසරේ සැප්තැම්බර් මසදී මෙරට ක්‍රීඩා අමාත්‍යංශය ද පිළිගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව Gamer.LK සහ ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමය සමග එක්ව කටයුතු කරමින් ඉ-ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ජාතික ඉ-ක්‍රීඩා කණ්ඩායමක් යොමු කිරීමට කටයුතු කළේය. ඉදිරි වසර පහක කාලය සඳහා ජාත්‍යන්තර ඉ-ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි දක්ෂයන් හඳුනා ගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් මස 18 වනදා සංවිධාන කෙරුණු අන්තර්-පාසල් ඉ-ක්‍රීඩා ශූරතාවලියට ද ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය හිමි විය. දිවයින පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වූ අතර ක්‍රීඩාව නගරයට පමණක් සීමා වී නොමැති බව එමගින් මනාව පිළිබිඹු විය.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා (වමේ සිට දෙවැන්නා) InGame Entertainment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සමග ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උපදේශක ගෝබිනාත් ශිවරාජා, එම කමිටුවේ මාධ්‍ය අංශයේ ප්‍රධානී එස්.ආර්. පතිරවිතාණ සහ InGame Entertainment සමාගමේ අධ්‍යක්ෂ විකුම් ජයසේකර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

Share this